♫musicjinni

Atanatiya Suthraya ආටානාටිය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්

video thumbnail
Atanatiya | Atanatiya Suthraya | Atanatiya Piritha
~ ආටානාටිය සූත්‍රය ~

අමනුශ්‍ය කරදර දුරු කරන මහා බලසම්පන්න ආටානාටිය සූත්‍රය තේරුමද සහිතව ශ්‍රවණය කරමු...

අමනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි. සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි.

ආටානාටිය සූත්‍රය දෙස බලද්දී බුදුරජාණන් වහන්සේගේ ඤාණය ගැන අපට ශ්‍රද්ධාවක් තියෙන්න ඕනෑ. ලෞකික සම්මා දිට්ඨිය විස්තර කරද්දී මෙලොව පරලොව පිළිබඳ විශ්වාසය, කර්ම කර්ම ඵල ගැන විශ්වාසය දෙමව්පියන්ට සැලකීම ගැන විශ්වාසය වාගේම ඕපපාතිකව උපදින සත්ත්වයින් මේ ලෝකයේ සිටිනවා කියන විශ්වාසයත්, තමන්ගේම නුවණින් ජීවිතය අවබෝධ කරගත් බුදු, පසේ බුදු මහරහතන් වහන්සේ වැනි උතුමන් ලෝකයේ වැඩ සිටිනවා කියන විශ්වාසයත් තිබිය යුතුයි කියලා බුද්ධ දේශනා තුළ සඳහන් වනවා. ඕපපාතික සත්ත්වයින් පිළිබඳ විශ්වාසය බැහැර කරන්නේ එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ අබබෝධය ගැන බුද්ධ දේශනාවල සඳහන් කරුණු ගැන සැක කරන්නේ ලෞකික සම්මා දිට්ඨියවත් නැති නියම මිත්‍යා දෘෂ්ඨික කෙනකු තමයි. ඕපපාතිකව තමයි දෙවියන් උපදින්නේ. බ්‍රහ්මයන් උපදින්නේ නිරයේ තිරිසන් සත්වයන් උපදින්නේ, ප්‍රේත ලෝකයේ ප්‍රේතයන් මෙන්ම යක්‍ෂයන් නාගලෝකයේ නාගයන් කුම්භාණ්ඩ නමැති අමනුෂ්‍යයින්. ගාන්ධර්ව නමැති අමනුෂ්‍ය කොටස් කර්මානුරූපව පහළවෙන ඕපපාතික සත්ත්වයන් හැටියට අප බුද්ධ දේශනා ඔස්සේ තේරුම් ගත යුතුයි.

ආටානාටිය සූත්‍රය තුළ සඳහන් වී තිබෙන්නේ යක්‍ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව යන මේ ලෝකයේ සිවුදිසාවෙහි වාසය කරන අමනුෂ්‍යයන්ගෙන් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයන්ට ඇතිවන උවදුරු නැතිකිරීම පිණිසත්, අමනුෂ්‍යයන් ගෙන් වන උවදුරු වලින් ආරක්‍ෂාවීම පිණිසත්, සිවුවනක් ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් හිංසාවක් ඇති නොවනු පිණිස දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ දේශනයක්. බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩ සිටිද්දී මේ ලෝකයේ සිවු දිසාවන් පාලනය කරන වෛශ්‍රවණ, විරූපාක්‍ඛ, විරුල්හ, ධෘතරාෂ්ට්‍ර කියන සතරවරම් දෙවි මහරජවරුන් තමන්ගේ අණසක යටතේ පාලනය වන මහත් යක්‍ෂ සේනාවක්ද, නාග සේනාවක්ද, කුම්භාණ්ඩ සේනාවක්ද, ගාන්ධර්ව සේනාවක් ද පිරිවරාගෙන පැමිණිලා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනාමාන කරලා එකත්පස්ව වැඩ සිටියා. ඒ අතර වෛශ්‍රවණ, දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා මෙසේ පවසනවා.

"බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු බලසම්පන්න යක්‍ෂයින් ඉන්නවා. අපැහැදුනු බලසම්පන්න යක්ක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු මාධ්‍යානුභාව යක්‍ෂයිනුත් ඉන්නවා. අපැහැදුනු යක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු නීච යක්‍ෂයිනුත් ඉන්නවා ස්වාමීනී! බොහෝ යක්‍ෂයන් බුදුරජාණන් වහන්සේ ගැන අපැහැදීමෙන් සිටින්නේ, එයට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් සොරකමෙන් වැරැදි කාම සේවනයෙන් බොරුවෙන්, මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම සඳහා ධර්ම දේශනා කරනවා. නමුත් බොහෝ යක්‍ෂයින් දුශ්ශීලයි. පංච දුශ්චරිතයේම යෙදෙනවා. ඒ නිසා දුශ්ශීල යක්‍ෂයින් බුදුරජාණන් වහන්සේ ගැනත් ශ්‍රාවකයින් ගැනත් වෛර සිතින් කටයුතු කරනවා. ස්වාමීනී යම්කිසි යක්‍ෂයෙක් ගෙන් ධර්ම මාර්ගය අනුගමනය කරන භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයින්ටම හිංසාවක් පීඩාවක් සිදුවුණොත් එවැනි අමනුෂ්‍ය උවදුරු වලින් ආරක්‍ෂා වීම පිණිස මේ ආටානාටිය නම් ආරක්‍ෂිත දේශනාව සිහි කරන්න" කියලා වෛශ්‍රවණ බුදුරජාණන් වහන්සේගෙන් ආටානාටිය සඳහා අවසර ඉල්ලුවා.

බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නට පසුසේ වෛශ්‍රණ දෙවියන් මුලින්ම සත්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහිකරමින් සත්බුදුවරුන්ට වන්දනා කළා. ඊළඟට බටහිර දිශාවේ නාගයින්ට අධිපති විරූපාක්ඛ දෙවියන්ගේ දේවානුභාවය බලපරාක්‍රමය ගැන විස්තර කළා. දකුණු දිශාව පාලනය කරන ගාන්ධර්වයන්ට අධිපති ධෘතරාෂ්ට්‍ර දෙවියන්ගේ දේවානුභාවය බලපරාක්‍රමය ගැන විස්තර කළා. ඊළඟට උතුරු දිසාව පාලනය කරන යක්‍ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙවියන්ගේ බලපරාක්‍රමය ගැනත් විස්තර කරලා ඒ ඒ දෙවියන්ට සිව්දිශාවන්හි අමනුෂ්‍ය කොටස් පාලනය කිරීම පිණිස ඉන්ද්‍ර නමින් දෙවි පුතුන් 91 දෙනා බැගින් සිටින බවත් ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී ඒ ඒ දිසාවන්හි සිට බුදුරදුන්ට වන්දනාමාන කරන බවත් පැවසුවා.

අනතුරුව කියා සිටියා යම් කිසි යක්‍ෂයෙක්, යක්‍ෂණියක්, යක්‍ෂ පැටවෙක් හෝ යක් පැටවියක්, යක්‍ෂ අමාත්‍යවරයෙක්, යක්‍ෂ මෙහෙකරුවෙක් හෝ යක්‍ෂ පිරිසෙහි කවුරුන් හෝ කෙනෙක් හෝ, යනාදී ලෙස මේ ආකාරයට පිරිස් හතක් ගැන පැවසුවා

.නාග කුම්භාණ්ඩ ගාන්ධර්ව යන අමනුෂ්‍ය කොටස් පිළිබඳව විස්තර කරලා ඒ අයගෙන් කවුරුන් හෝ අමනුෂ්‍යයෙක් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස ගමන් කරන විට ඒ අනුව අමනුෂ්‍යයාත් ගමන් කරනවා නම්, හිටගෙන සිටින විට අමනුෂ්‍යයාත් ඒ අනුව හිටගෙන සිටිනවානම් ඉඳගන්නකොට අමනුෂ්‍යයාත් ඒ අනුව ඉඳගන්නවා නම් නිදාගන්න කොට ඒ අනුවම නිදාගන්නවානම් සතරවරම් දෙවියන්ට කථා කරලා කියන්න කිව්වා. මේ හිංසාපීඩා කරන අමනුෂ්‍යයින්ගෙන් මාව බේරලා ධර්ම මාර්ගයේ යන්න මට උදව් කරන්න කියලා.

වෛශ්‍රණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ මේ ආටානාටිය නම් ආරක්‍ෂිත දේශනය පසුවදා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ රැස් කරලා බුදුමුවින් ඒ ආකාරයටම දේශනා කළා. අන්න එය තමයි ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙලා තියෙන විස්තරය.

උපුටාගැනීම : https://dahamsabava.wordpress.com/

--------- මෙම වීඩියෝවෙහි අන්තර්ගතයන් ---------
0:00 ආටානාටිය සූත්‍රය
----------------------------------------------------------


#sethpirith #atanatiya Suthraya #mahakalusinhalayo
Disclaimer DMCA